යූ.ඇන්.පී. යේ අර්බුදයට විසඳුමක් වමෙන් ලබාදෙන්න සිදු වෙලා

මේ දවස්වල ආණ්ඩුවේ ප්‍රජාතන්ත්‍රවාදය ගැන හැම පැත්තෙන්ම ප්‍රශ්න මතුවෙන්ට පටන් අරන්. එක පැත්තකින් ඒකාධිපති ව්‍යවස්ථාව ගැන. අනෙක් පැත්තෙන් සරත් ෆොන්සේකා හිරයට නියම කිරීම ගැන.

කිසිම විවෘත අධිකරණ ක්‍රියාමාර්ගයක් හෝ ප්‍රසිද්ධ කොමිෂන් සභා තීන්දුවක් නැතිව මිලිටරි නඩු විභාගයකින් සියලූ සිවිල් අයිතීන් ඉවත් කිරීමට කටයුතු කිරීම විශාල ප්‍රශ්නයක්. එයින් අධිකරණයේ ස්වාධීන පැවැත්මටත් විශාල අභියෝගයක් ඇති වෙනවා.

අනෙක් අතට ෆොන්සේකා යුද්ධය කළේ යම් භාණ්ඩ මිල දී ගැනීමකදී තමන්ගේ දියණියගේ සැමියා සම්බන්ධ කොම්පැණියකින් බඩු අරන්. ඒ බව එළි නොකර කටයුතු කළා කියන එකයි දැන් චෝදනාව. ඇත්තටම හොරකමක් වුණා, ඒක මේ තරම් ලොකුයි කියල චෝදනා ඉදිරිපත් කළේත් නෑ.

වැඩේ තියෙන්නේ, මේ යුද්ධය කළේ ඉතාම රහසිගත ආරක‍ෂක ක්‍රියාමාර්ග ගනිමිනුයි. මේ බව ආණ්ඩුව ඒ දවස්වල අවධාරණය කළා.

ඇත්තටම බඩු ලබා දෙන ව්‍යාපාර ගැනත් කොටි ඇස් ගහගෙන හිටිය කියන එකත් පිළිගන්න පුළුවන්. ඒ නිසාම යුද්ධයට බඩු ලබා ගැනීමේදී සාමාන්‍ය ටෙන්ඩර් ප්‍රතිපත්ති අහක දමල විශ්වාසය අනුව භාණ්ඩ ලබාගැනීමත් ආණ්ඩුව අවධාරණය කරපු වැඩපිළිවෙළයි.

එහෙම නම් තමන්ගේ බෑණාටත් අනතුරක් වෙන්න පුළුවන් කියල දැනගෙනම ඒ විදියට භාණ්ඩ ලබාගැනීම එක විදියක වීර ක්‍රියාවක්. මොකද? ඒ කොම්පැණිය ගැන කොටි සංවිධානය දැන ගත්ත නම් බෑණටත් පහර දෙන්න කොටි සංවිධනය කටයුතු කරයි කියන සැකය සාධාරණයි.

තමන්ගේ දරුවන් අනතුරට ලක් කරල හරි යුද්ධයට කැප වුණා නම් මේ ජාතිවාදී යුදවාදී ආණ්ඩුව ඒ ගැන වෛර කරන්නේ ඇයි? ඒ උඩ ජෙනරාල්වරයා හිරේ දමන්නටම කටයුතු කිරීම ජාතිවාදී යුදවාදී පිළිටම උහුලගන්න බැරි තත්ත්වයක්.

මේක හොඳට පෙනෙනව පහුගිය දවස්වල මන් සහභාගී වුණ උද්ඝෝෂණ තුළ හුඟක් තරුණයෝ මට ඇවිත් කිව්ව අපි හමුදාවේ හිටියේ. ඔබතුමත් මේ ඇවිල්ල ඉන්න එක ලොකු සන්තෝසයක් කියල.

එයින් අදහස් වුණේ දෙමළ සටන ගැන හිතවත්ව බැලු කෙනෙක් දැන් සිංහල වීරයෙක් වෙනුවෙන් ඉදිරිපත් වුණ එක ලොකු දෙයක් කියන එක වෙන්න ඕනෑ. මගේ මැදිහත් වීම ඇත්තටම ජෙනරාල්ට අසාධාරණයක් වුණ නිසා මිසක ඔහුගේ සිංහල වීර තරාතිරම බලල නෙවෙයි කියල කාටත් පෙනෙනවානේ.

ජනාධිපතිවරණය තුළදීත් අපි ඉතා තදින්ම ජෙනරාල්ගේ දේශපාලනය විවේචනය කළා. මා දැක්කේත්, අද දකින්නේත් ඔහු ගෝලීය ධනවාදයේ විකල්ප නායකයෙක් හැටියට ගොඩනැගෙන බවයි. ජනතා විමුක්ති පෙරමුණ කරේ තියාගෙන හිටියට, ඔවුන් දකින සමාජවාදයට හෝ ඔහු එකඟ කෙනෙක් නෙවෙයි.

කොහොම වුණත් අද වෙනකොට මහින්ද ගෝලීය බලවතුන් සමඟ හොඳ හිතවත්කමක් ඇති කරගෙන ඉන්නේ. මෙවර එක්සත් ජාතීන්ගේ සංගමයේ සැසිවාරයට ගිය මහින්ද ගෝලීය බලවතුන්ගේ, ඔවුන්ගේ ගෝලයන්ගේ පස්සෙන් වැටිල වැඳ වැඳ කථා කරල කිව්වේ එක දෙයයි.
අනේ සර්ලා බලන්න අපි ගැන. අපි කළේ ඕගොල්ලන්ට සතුරු ත්‍රස්තවාදීන් විනාශ කරල රට ඔබලාගේ ආයෝජනයට සුදුසු රටක් කරන එකයි. අපි සර්ලාට පක‍ෂයි. අපි සමාජවාදියෝ නෙවෙයි, ධනවාදියෝ. අහිතක් හිතන්න එපා. එන්න, ඕනෑ විදියකට සූරාකෑමට ඉඩ තියෙනවා.

ඇමෙරිකාවේ ක්ලින්ටන් නෝනා වගේම බ්ලේක් මහත්තයත් හොඳ ප්‍රතිචාර දක්වල තියෙනවා. අනෙක් බලගතු රටවල් වුණත් හොඳට සලකන බව පෙනෙනවා.

මේ තත්ත්වය උඩ, මහින්දට බටහිර සහය නෑ කියල හිතාගෙන හිටිය උදවිය, විශේෂයෙන්ම දෙමළ ධනපති කොටස් ලොකු අමාරුවක වැටිල. පිටරට දෙමළ සංවිධාන පසුගිය දවස්වල ලොකුවට හිතාගෙන හිටිය මහින්දට ගෝලීය බලවතුන්ගෙන් පහර වදින හැටි බලන්න.

මන් දිගටම පෙන්වල දුන්නා ඒ අදහස වැරදි බව. ලෝක කම්කරු ව්‍යාපාරවලින් මිස ජාතික විමුක්ති සටන්වලට ඊනියා ලිබරල් ධනවාදීන් උදව් නොකරන බව. එය පිළිනොගෙන නොයෙක් විවේචන කළ උදවියට දැන් ඇත්ත තේරෙන්න පටන් අරන්.

කොහොමටත් දැන් ආණ්ඩුව එළිපිටම තම ගමන්මග එළිකරමින් යූ.ඇන්.පී. යේ ධනපති හිතවතුන් තමන් අතරට ගැනීමටයි ක්‍රියා කරගෙන යන්නේ. එස්.බී. දිසානායක කෙළින්ම කියන්නේ පුද්ගලික සරසවි හරහා උසස් අධ්‍යාපනය දියුණු කරන බවයි.

ඊටත් වඩා හොඳට ඩලස් අලහප්පෙරුම ආණ්ඩුවේ දෘෂ්ඨිය ගැන කථා කරල තියෙනවා;
..... විවෘත ආර්ථීකය තුළ තිබුණ ලෝක දේශපාලන මතවාදයන් අපේ රට, නිවැරදිව අවබෝධ කරගත්තේ නැහැ. ඒ නිසා අපට ලැබුණ දේවල්වලට වඩා බොහෝ දේ අහිමි වුණා. එහෙම වුණේ ආර්ථීක ප්‍රතිපත්තියේ වැරැද්ද නිසා නෙවෙයි. විවෘත ආර්ථීකය සාර්ථකව අත්හදා බැලු ආර්ථීක සිද්ධාන්තයක්. විවෘත ආර්ථීකය ඔලූවෙන් වෙනුවට වලිගයෙන් අල්ලා ගැනීම නිසා ලැබුණ දේවල්වලට වඩා අහිමි වූ දේ බොහෝයි. විවෘත ආර්ථීකය සාර්ථකව අත්හදා බැලු රටවල් සමඟ අපි වර්ධනීය සාධක සාකච්ඡාවක් කළේ නැහැ.....

අම්මට සිරි ගජ. දැන්නේ අපේ නියම කොම්ප්‍රදෝරු කට්ටිය උඩට ගෙනාවේ. රනිල්ලා, මොන මිනිස්සුද? මේ අයනේ නියම කෙළිකාරයෝ. ෙජ්.ආර්.ලා, රනිල්ලා ගෝලීය බලවතුන්ගේ වලිගවල එල්ලිලා වැඩ කළ නිසයි විවෘත ආර්ථීකයේ නියම ප්‍රතිඵල ගන්න බැරි වෙලා තියෙන්නේ. මේ ඩලස් චින්තනය අනුව දැන් තමයි නියම විවෘත ආර්ථීකය මේ රට තුළ ක්‍රියාත්මක වෙන්නේ.

මේක තමයි මාත් පසුගිය දවස්වල දිගටම පැහැදිලි කළේ. මන් පෙන්වල දුන්නා රනිල්ගේ අර්බුදයත්, එයාගේ මුළු ප්‍රතිපත්තියම වඩා හොඳින් ක්‍රියාත්මක කිරීමට මහින්ද ඉදිරිපත් වීම බව. ඒ නිසා දැන් යූ.ඇන්.පී. යෙන් වැඩක් නෑ. මේක ලොකු ධනපතියන් දැන් තේරුම් ගනිමින් ඉන්නේ.

දෙමළ, මුස්ලිම් ධනපතියන් පවා දැන් කල්පනා කරන්නේ තමන්ගේ දේපොල දියුණුවට මහින්දගේ මාර්ගයෙන් ඉඩකඩ තිඛෙන බවයි. ටිකක් ජාතිවාදයෙන් හිරහැර වුණත් තමන්ගේ ප්‍රාග්ධනය වැඩි කරගන්න රජය උදව් වෙනව නම් ඒකට ගිජු වන දෙමළ ධනපතියෝ දැන්ම මහින්ද වටා කෑකෝගහන්න පටන් අරන්. ඒ සමහරු මිනිහත් එක්ක ඇමරිකාවටත් ගියා. ඒ සපෝට් උඩ තමයි මහින්දට මේ තැනට එන්නට හැකි වුණේ.

දැන් මේ තත්ත්වය උඩ යූ.ඇන්.පී. යේ අර්බුදයට විසඳුමක් වමෙන් ලබාදෙන්න සිදු වෙලා. මේ වෙලාවේ සමාජ ප්‍රජතාන්ත්‍රවාදය ගැන කථාවක් ඇති වෙලා තියෙන්නේ මේ ප්‍රශ්නය නිසයි.

සමාජ ප්‍රජාතන්ත්‍රවාදයේ අලූත් නැගිටීමක් ජර්මනිය, ස්වීඩනය ආදී රටවල ඇති වෙලා තියෙනවා. ධනවාදයේ මේ ගෝලීය වර්ධනය නිසා සුභසාධනය බිඳවැටීම ඒ අයට බලපාල තියෙනවා.

කින්සියානු ක්‍රමය තූළ ධනවාදය තුළ පොදු යහපත ඇති කළ හැකියි කියන මතය රජ කළත්, දැන් ඒක වලංගු නැහැ. එහෙම නම් පොදු යහපතට මාවත කුමක්ද? මේ තමා ප්‍රශ්නය. සමාජ ප්‍රජාතන්ත්‍රවාදය තුළ අපි හොයන්නෙත් ඒ පිළිතුරු තමා.